A/Level Chemistry Syllabus

03 ඒකකය – රසායනික ගණනය

ඒකකය 3 – රසායනික ගණනය

නිපුණතාව 3.0 –

රසායනික ගණනය කිරීම් නිවැරදි ව සිදු කරයි.

නිපුණතා මට්ටම 3.1 –

පරමාණුවේ හා අණු සම්බන්ධ භෞතික රාශි උපයෝගී කර රසායනික සූත්‍ර නිර්ණය කිරීමට, අදාළ නියත භාවිත කර ගණනයන් සිදු කරයි.

කාලච්ඡේද ගණන –

13

ඉගෙනුම් ඵල –

  • දෙන ලද ප්‍රභේදයක ඇතුළත් පරමාණුවල ඔක්සිකරණ අංකය සොයයි.
  • IUPAC නීති භාවිත කර රසායනික සූත්‍ර හා නාම ලියයි.
  • නිරන්තරයෙන් භාවිත වන රසායනික සංයෝගවල සාමාන්‍ය නාම සඳහන් කරයි.
  • ඇවගාඞ්රෝ නියතයේ (L) අගය ඒකක සහිත ව සඳහන් කරයි.
  • මවුල සහ ඇවගාඞ්රෝ නියතයට සම්බන්ධ ගණනය කිරීම් සිදු කරයි.
  • ප්‍රතිශත සංයුතිය දන්නා විට ආනුභවික සූත්‍රය නිර්ණය කරයි.
  • ආනුභවික සූත්‍රය හා අණුක ස්කන්ධය දන්නා විට අණුක සූත්‍රය නිර්ණය කරයි.
  • අණුක සූත්‍රය දී ඇති විට එහි අඩංගු මූලද්‍රව්‍යවල සංයුති ගණනය කරයි.
  • සංයුතියෙහි පරාමිති (ස්කන්ධ භාගය, පරිමා භාගය, මවුල භාගය, සාන්ද්‍රණය) සමාලෝචනය කරයි.
  • ස්කන්ධ භාගය, පරිමා භාගය හා මවුල භාගය සම්බන්ධ ගැටලු විසඳයි.
  • ඒකක පරිමාවක ඇතුළත් ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය සාන්ද්‍රණය ලෙස අර්ථදක්වයි.  (mol/volume)
  • ඉතා කුඩා ප්‍රමාණවලින් අඩංගු ද්‍රව්‍යයන්ගේ සංයුති ප්‍රකාශ කිරීමට ppm හා ppb භාවිත කරයි.
  • සංයුතිය ස්කන්ධය/ පරිමාව, ප්‍රමාණය/ පරිමාව ලෙස ප්‍රකාශ කරයි.
  • ස්කන්ධය / පරිමාව සහ ප්‍රමාණය / පරිමාව (සාන්ද්‍රණය) සම්බන්ධ ගැටලු විසඳයි.
  • විද්‍යාගාරයේ ඇති පිපෙට්ටු, බියුරෙට්ටු, බීකර, මිනුම් සරා වැනි
    වීදුරු උපකරණ සහ සිව් දඬු තුලාව නිවැරදි ව පරිහරණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විවිධ රසායනික සංයෝගවල අඩංගු සංඝටක පරමාණුවල ඔක්සිකරණ අංකය ලබා
    ගන්නා අයුරු පැහැදිලි කරන්න.
  • IUPAC නීති භාවිතයෙන් රසායනික සූත්‍ර ලිවීමට සිසුන් යොමු කරන්න.
  • සිසුන් කණ්ඩායම් කර අප නිතර භාවිත කරන සුලභ රසායනික සංයෝගවල සාමාන්‍ය
    නම් සෙවීමට යොමු කරන්න.
  • රසායනික ගණනයේ දී ඇවගාඞ්රෝ නියතයේ වැදගත්කම සුදුසු උදාහරණ මගින්
    පැහැදිලි කරන්න.
  • මවුල සහ ඇවගාඞ්රෝ නියතය මත පදනම් වූ ගණනය කිරීම් සිදු කිරීමට සිසුන්ට මග
    පෙන්වන්න.
  • සංයෝගයක ආනුභවික සූත්‍රය හා අණුක සූත්‍රය හඳුන්වා දී එම සූත්‍ර දෙක අතර වෙනස
    හඳුනා ගැනීමට සුදුසු නිදසුන් ඉදිරිපත් කරමින් සහාය වන්න.
  • සංයෝගවල සංයුති යොදා ගනිමින් ආනුභවික සූත්‍රය හා අණුක සූත්‍රය නිර්ණය කිරීමට
    මග පෙන්වන්න.
  • නිදසුන් යොදා ගනිමින් සංයුතිය ප්‍රකාශ කළ හැකි පරාමිති හඳුනා ගැනීමට උදව් කරන්න.
    (ස්කන්ධ භාගය, පරිමා භාගය, මවුල භාගය හා ප්‍රමාණය/ස්කන්ධය)
  • සාන්ද්‍රණය හඳුන්වා දී එය මවුල ප්‍රමාණය/ පරිමාව යන පද මගින් ප්‍රකාශ කළ හැකි බව
    පෙන්වා දෙන්න.
  • සිසුන් කණ්ඩායම් කර සුදුසු උදාහරණ මගින් සංයුතිය සහ සාන්ද්‍රණය සම්බන්ධ ගණනය
    කිරීම් සිදු කිරීමට මග පෙන්වන්න.
  • විද්‍යාගාරයේ ඇති වීදුරු උපකරණවල වැදගත්කම හා ප්‍රයෝජන සඳහන් කර ඒවා
    ආදර්ශනය කරමින් සිසුන්ට ද ඒවා භාවිත කිරීම් හුරු වීමට අවස්ථාව සලසා දෙන්න.
  • සිව් දඬු තුලාව නිවැරදි ව භාවිත කිරීමට මඟ පෙන්වන්න.

අදාල පරීක්ෂණ –

  • විද්‍යාගාරයේ ඇති වීදුරු උපකරණ හා සිව් දඩු තුලාව භාවිතා කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සංයුතිය හා සාන්ද්‍රණය මත පදනම් වී ඇති විවිධ වර්ගයේ ගණනයන් සිදු කිරීමට ඇති
    හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  3.2 –

විවිධ ක්‍රම භාවිත කර තුලිත සමීකරණ ලියා දක්වයි.

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ස්කන්ධ හා ආරෝපණ සංස්ථිතිය සැලකිල්ලට ගනිමින් රසායනික සමීකරණයක තුලිත බව පිරික්සයි.
  • සෝදිසි ක්‍රමය හා රෙඩොක්ස් ක්‍රමය භාවිතයට ගනිමින්ස මීකරණ තුලනය කරයි.
  •  සරල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලිත කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ස්කන්ධ සංස්ථිතිය හා ආරෝපණ සංස්ථිතිය සලකමින් සමීකරණය තුලිත කිරීමට සිසුන්
    යොමු කරන්න.
  • සෝදිසි ක්‍රමයෙන් සමීකරණ තුලිත කරන ආකාරය පෙන්වා දෙමින් ඒ සඳහා මඟ
    පෙන්වන්න.
  • ඔක්සිකරණ අංක පමණක් භාවිතයෙන් සහ අයන-ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා ලිවීම
    මගින් රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීමට මඟ පෙන්වන්න.
  • සරල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලිත කිරීමට මඟ පෙන්වන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • විවිධ වර්ගයේ ප්‍රතික්‍රියා ලබා දී ඒවා තුලිත කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 3.3 –

ස්ටොයකියොමිතිය හා අනුමාපන ආශ්‍රිත ගණනය කිරීම් සිදු කරයි.

කාලච්ඡේද ගණන –

14

ඉගෙනුම් ඵල –

  • ස්ටොයිකියොමිතියට අදාළ වන ගණනය කිරීම් සිදු කරයි.
  • ද්‍රාවණ පිළියෙල කරන ආකාරය හා තනූකරණය කරන ආකාරය පැහැදිලි කරයි.
  • සම්මත සාන්ද්‍රණයෙන් යුත් සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් පිළියෙල කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ද්‍රාවණ තනුක කර වෙනත් ද්‍රාවණ පිළියෙල කිරීමට අදාළ ගණනයන් සිදු කරන ආකාරය
    පැහැදිලි කරන්න.
  • අම්ල-භස්ම ප්‍රතික්‍රියාවලට අදාළ ගණනයන් සිදු කිරීමට මඟ පෙන්වන්න.
  • තුලිත රසායනික සමීකරණ භාවිතයෙන් විවිධ වර්ගයේ ගැටලු විසඳීමට යොමු කරන්න.
    නිදසුන්

    1. දෙන ලද ද්‍රාවණයක් තනුක කිරීමෙන් ලැබෙන නව සාන්ද්‍රණය සෙවීම.
    2. එකිනෙක ප්‍රතික්‍රියා නොකරන ද්‍රාවණ දෙකක් මිශ්‍ර කළ විට සෑදෙන ද්‍රාවණයේ ඇති
      අයන සාන්ද්‍රණ සෙවීම.
    3. එකිනෙක ප්‍රතික්‍රියා කරන ද්‍රාවණ දෙකක් මිශ්‍ර කළ විට සෑදෙන ද්‍රාවණයේ ඇති අයන
      සාන්ද්‍රණ සෙවීම.
    4. අම්ල ද්‍රාවණයක ඝනත්වය හා ස්කන්ධය අනුව ප්‍රතිශත සංශුද්ධතාව දී ඇති විට එම
      ද්‍රාවණයේ සාන්ද්‍රණය සෙවීම.
    5. දෙන ලද ද්‍රාවණ දෙකක් භාවිතයෙන් නිශ්චිත සාන්ද්‍රණයක් ඇති ද්‍රාවණ පිළියෙල කිරීම
      සම්බන්ධ ගණනය කිරීම්.
    6. නිර්ජලීය හා ජලීය ඝන ද්‍රව්‍ය භාවිත කර නිශ්චිත සාන්ද්‍රණයක් ඇති ද්‍රාවණ පිළියෙල
      කිරීමට අදාළ ගණනය කිරීම්.
    7. ද්‍රාවණ දෙකක් මිශ්‍ර කළ විට සෑදෙන අවක්ෂේපයක ස්කන්ධය සෙවීම
    8. යම් මිශ්‍රණයක ප්‍රතික්‍රියා දෙකක් සමගාමී ව සිදු වන විට එක් එක් සංඝටකවල සංයුතිය
      නිර්ණය කිරීම.
    9. ප්‍රතිකාරක දෙකක් අතර ප්‍රතික්‍රියාවක් සිදු වූ විට ඉතිරි වන ප්‍රතිකාරකය සොයා ගැනීමට
      අදාළ ගැටලු විසඳීම. නිදසුන්: හුනුගල් සාම්පලයක ඇති කැල්සියම් කාබනේට් ප්‍රමාණය
      නිර්ණය කිරීමට වැඩිපුර හයිඞ්රොක්ලෝරික් අම්ලය භාවිත කිරීම.
    10. ඉහත සඳහන් කර ඇති මාතෘකාවලට අදාළ වෙනත් ගැටලු විසඳීම.

අදාල පරීක්ෂණ –

  • සම්මත සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් පිළියෙල කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ස්ටොයිතියොමිතිය සම්බන්ධ විවිධ වර්ගයේ ගැටලු විසඳීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like