A/Level Chemistry Syllabus

04 ඒකකය – පදාර්ථයේ වායු අවස්ථාව

ඒකකය 4 – පදාර්ථයේ වායු අවස්ථාව

 

නිපුණතාව 4.0 –

පදාර්ථයේ වායු අවස්ථාවේ හැසිරීම විමර්ශනය කරයි.

නිපුණතා මට්ටම 4.1 –

පදාර්ථයේ ප්‍රධාන ත්‍රිවිධ අවස්ථාවල දර්ශීය ලක්ෂණ පැහැදිලි කරනු පිණිස ඒවායේ අංශුමය සංවිධානය යොදා ගනියි.

කාලච්ඡේද ගණන –

02

ඉගෙනුම් ඵල –

  • ඝන, ද්‍රව, වායු යන ප්‍රධාන අවස්ථාවල අංශුවල සංවිධානය විමර්ශනය කරයි.
  • අංශුවල සැකැස්ම සහ ඒවායේ චලිතය උපයෝගී කර ගනිමින් ඝන, ද්‍රව හා වායුවල පරිමාව, ඝනත්වය, හැඩය (හැඩය කෙරෙහි ගුරුත්ව බලයේ බලපෑම) හා සම්පීඩ්‍යතාව වැනි මහේක්ෂ ගුණ සංසන්දනය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පදාර්ථයේ අංශු සැකසී ඇති ආකාරය අනුව ඝන, ද්‍රව හා වායුවල ගුණ වෙනස්වීමට හේතු සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ද්‍රව්‍යවල පරිමාව, ඝනත්වය, හැඩය හා සම්පීඩ්‍යතාව ආදී ගුණ සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  4.2 –

සත්‍ය වායුවල හැසිරීම් රටා විස්තර කිරීම සඳහා ආකෘතියක් ලෙස පරිපූර්ණ වායුව යොදා ගනියි.

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • පරිපූර්ණ වායුව අර්ථදක්වයි.
  • පරිපූර්ණ වායු සමීකරණය සහ එහි ව්‍යූත්පන්න හඳුන්වා දී එහි පද ලියා දක්වයි.
  • බොයිල්, චාල්ස් හා ඇවගාඞ්රෝ නියම සඳහන් කර, පරිපූර්ණ වායු සමීකරණයේ සංගතතාව පෙන්වා දෙයි.
  • වායුවක මවුලික පරිමාව අර්ථදක්වයි.
  • පරිපූර්ණ වායු සමීකරණය සම්බන්ධ ගැටලු විසඳයි.
  • ඔක්සිජන්වල මවුලික පරිමාව පරීක්‍ෂණාත්මක ව නිර්ණය කරයි.
  • මැග්නිසියම්වල සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධය පරීක්‍ෂණාත්මකව නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පරිපූර්ණ වායුවක හා තාත්වික වායුවක ලාක්ෂණික ගුණාංග හඳුන්වා දී ඒ මත පදනම් වු පරිපූර්ණ වායු සමීකරණය හඳුන්වා දෙන්න.
  • පරිපූර්ණ වායු සමීකරණයෙන් ආරම්භ කරමින් සාන්ද්‍රණය(C), ඝනත්වය (d) සහ මවුලික ස්කන්ධය (M) සම්බන්ධ සමීකරණ ව්‍යුත්පන්න කිරීමට මඟ පෙන්වන්න.
  • පරිපූර්ණ වායු සමීකරණය හා එහි ව්‍යුත්පන්නවලට අදාළ ගැටලු විසඳීමට සිසුන්ට පවරන්න.
  • පරිපූර්ණ වායු සමීකරණයෙන් බොයිල් නියමය, චාල්ස් නියමය හා ඇවගාඞ්රෝ නියමය ව්‍යුත්පන්න කරන ආකාරය පෙන්වා දෙන්න.
  • බොයිල් නියමය, චාල්ස් නියමය හා ඇවගාඞ්රෝ නියමය වචනයෙන් ලියා දැක්වීමට මඟ
    පෙන්වන්න.
  • වායුවක මවුලික පරිමාව අර්ථදක්වන්න.

අදාල පරීක්ෂණ –

  • වායුවක මවුලික පරිමාව පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
  • මැග්නීසියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • PV = nRT  මගින් බොයිල්, චාල්ස් හා ඇවගාඞ්රෝ නියම ව්‍යුත්පන්න කිරීමට ඇති හැකියාව අගයන්න.
  • PV = nRT හා එකි ව්‍යුත්පන්නවලට අදාළ ඝනත්වය, මවුලික ස්කන්ධය හා සාන්ද්‍රණය
    සම්බන්ධ විවිධ වර්ගයේ ගැටලු විසඳීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 4.3 –

තාත්වික (සත්‍ය) වායුවල හැසිරිම පැහැදිලි කිරීම සඳහා අණුක චාලක වාදය යොදා ගනී.

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • වායුවල අණුක චාලක වාදයේ එන උපකල්පන ප්‍රකාශ කරයි.
  • වායුවක පීඩනය කෙරෙහි බලපාන සාධක විස්තර කරයි.
  • මධ්‍යනය වේගය (C), වර්ග මධ්‍යනය වේගය (C2) හා වර්ග මධ්‍යන්‍ය මූල වේගය √C2 සඳහා ප්‍රකාශන ලියා දක්වයි.
  • වායු පිළිබඳ චාලක අණුක සමීකරණය ප්‍රකාශ කර එහි පද විස්තර කරයි.
  • C2 = 3RT/M සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි.
  •  C2 = 3RT/M  ට අදාළ සරල ගැටලු විසඳයි.
  • වායු පිළිබඳ මැක්ස්වෙල් – බෝල්ට්ස්මාන් වක්‍රවලින් ඉදිරිපත් කෙරෙන තොරතුරු විස්තර කරයි.
  • උෂ්ණත්වය හා මවුලික ස්කන්ධය අනුව මැක්ස්වෙල් -බෝල්ට්ස්මාන් වක්‍රවල සිදු වන විචලනය පැහැදිලි කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • වායු සඳහා වන චාලක අණුක වාදයේ උපකල්පන හඳුන්වා දෙන්න.
  • වර්ග මධ්‍යන්‍ය මූල වේගය සහ මධ්‍යන්‍ය වේගය අතර වෙනස පැහැදිලි කරන්න.
  • අණුක චාලක සමීකරණය PV = 1 /3 mNC2 හදුන්වා දෙන්න
  • පරිපූර්ණ වායු සමීකරණය හා අණුක චාලක සමීකරණය මගින් C2 = 3RT/M ව්‍යුත්පන්න කරන්න.
  • යම් කිසි වායුවක් සඳහා උෂ්ණත්වය දෙකක දී මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වක්‍ර ඇඳ ඒවා විචලනය වන අන්දම පැහැදිලි කරන්න.
  • එක ම උෂ්ණත්වයක ඇති වෙනස් වායුවල බෝල්ට්ස්මාන් වක්‍ර ඇඳ ඒවායේ විචලනය පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද උෂ්ණත්වවල දී විවිධ වායුවල වර්ග මධ්‍යන්‍ය වේග නිවැරදි සම්මත ඒකක යොදා ගනිමින් ගණනය කිරීමේ හැකියාව අගයන්න.
  • එකිනෙකට වෙනස් තත්ත්ව යටතේ දී PV = 1/3mNC2 සමීකරණයට සම්බන්ධ සරල ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.
  • මැක්ස්වෙල් – බෝල්ට්ස්මාන් වක්‍ර මගින් තොරතුරු ලබා ගැනීමේ සහ ඒවා සංසන්දනය
    කිරීමේ හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 4.4 –

වායු මිශ්‍රණයක හැසිරීම පැහැදිලි කිරීම සඳහා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය යොදා ගනී.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • ආංශික පීඩනය යන පදය පැහැදිලි කරයි.
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ප්‍රකාශ කරයි.
  • පරිපූර්ණ වායු සමීකරණයෙන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ව්‍යුත්පන්න කරයි.
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ආශ්‍රිත ගැටලු විසඳයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • වායු මිශ්‍රණයක ඇති යම් කිසි වායුවක ආංශික පීඩනය යනු කුමක් දැයි හඳුන්වා දෙන්න.
  • ඩෝල්ටන්ගේ ආංශික පිඩන නියමය වචනයෙන් ලිවීමට මඟ පෙන්වන්න.
  • පරිපූර්ණ වායු නියමයෙන් ඩෝල්ටන්ගේ ආංශික පිඩන නියමය ව්‍යුත්පන්න කරන ආකාරය පෙන්වා දෙන්න.
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයට සම්බන්ධ ගැටලු විසඳීමට ඉඩ ලබා දෙන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • PV = nRT  මගින් ඩෝල්ටන් නියමය ව්‍යුත්පන්න කිරීමට ඇති හැකියාව අගයන්න.
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය භාවිතයෙන් දෙන ලද වායු මිශ්‍රණ සඳහා විවිධ වර්ගයේ ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 4.5 –

සත්‍ය (තාත්වික) වායු සඳහා පරිපූර්ණ වායු සමීකරණය යෙදීමේ දී කළ යුතු සංශෝධන විශ්ලේෂණය කරයි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • සම්පීඩ්‍යතා සාධකය අර්ථ දක්වයි.
  • තාත්වික සහ පරිපූර්ණ වායුවල එහි අගය පීඩනය සමඟ වෙනස් වන ආකාරය ප්‍රස්තාරික ව ඉදිරිපත් කරයි.
  • අණුක චාලක වාදයේ එන උපකල්පන සලකමින් තාත්වික වායු පරිපූර්ණ වායුවල හැසිරීමෙන් අපගමනය වීමට හේතු විස්තර කරයි.
  • තාත්වික වායු, පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වීම පැහැදිලි කිරීමට ගොඩනඟන ලද සමීකරණයක් ලෙස වැන්ඩවාල්ස් සමීකරණය ඉදිරිපත් කරයි.
  • අවධි උෂ්ණත්වය විස්තර කරයි.
  • විද්‍යාත්මක සංකල්ප ස්ථිතික ඒවා නොව කරුණු මත පදනම් වෙමින් නිරන්තර වැඩි දියුණු වීම්වලට ලක් වෙතැයි යන අදහස අගය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සම්පීඩ්‍යතා සාධකය අර්ථදක්වන්න.
  • පරිපූර්ණ වායුවක් සහ තාත්වික වායු සඳහා සම්පීඩ්‍යතා සාධකය, පීඩනය සමග විචලනය වන අයුරු ඉදිරිපත් කර චාලක අණුක වාදයේ උපකල්පන යොදා ගනිමින් එම විචලනයන්ට හේතු විස්තර කරන්න.
  • පරිපූර්ණ වායුවට යොදන ලද සංශෝධන සහිත වැන්ඩාචාල්ස් සමීකරණ හඳුන්වා දෙන්න.
  • තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වන අයුරු පැහැදිලි කිරීමට සිසුන්ට මඟ පෙන්වන්න.
  • අවධි උෂ්ණත්වය පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වීමට හේතු ඉදිරිපත් කිරීමට ඇති
    හැකියාව අගයන්න.

You Might Also Like