A/Level Chemistry Syllabus

01 ඒකකය – පරමාණුක ව්‍යුහය

ඒකකය 1 – පරමාණුක ව්‍යුහය

 

නිපුණතාව 1.0 –

පදාර්ථයේ ස්වභාවය නිර්ණය කිරීමෙහි ලා ඉලෙක්ට්‍රෝන සැකැස්ම හා ශක්ති හුවමාරු භාවිතයට ගනී.

නිපුණතා මට්ටම 1.1 –

පරමාණුක ව්‍යූහය පිළිබඳ ආකෘති විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • කැතෝඩ කිරණ ආදර්ශනය කිරීමෙන් පසු නිරීක්ෂණ ලියා දක්වයි.
  • කැතෝඩ කිරණවල ගුණ සාකච්ඡා කරයි.
  • පරමාණුව හා උපපරමාණුක අංශු විස්තර කරයි.
  • රදර්ෆර්ඞ් ආකෘතිය :රන්පත් පරීක්‍ෂාව* විස්තර කරයි.
  • පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය (නියුක්ලියෝන අංකය) සඳහන් කරයි.
  • සමස්ථානික අර්ථ දැක්වීම සඳහා පරමාණුක න්‍යෂ්ටියට ප්‍රෝටෝනවල හා නියුට්‍රෝනවල දායකත්වය පැහැදිලි කරයි.
  • නියුක්ලයිඩ සඳහන් කරයි.
  • මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය භාවිත කරමින් සරල ගණනය කිරීම් සිදු කරයි.
  • ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් දරන ලද ප්‍රයත්න අගය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • උපපරමාණුක අංශු අනාවරණය සඳහා යොදා ගත් පරීක්ෂණ පිළිබඳ ව සාකච්ඡා
    කරන්න. (කැතෝඩ කිරණ සහ රදර්ෆඞ්ගේ රන්පත් පරීක්ෂණය)
  • කැතෝඩ කිරණවල ලක්ෂණ සාකච්ඡා කරන්න.
  • පරමාණුව පිළිබඳ තොම්සන් ආකෘතිය හා රදර්ෆඞ් ආකෘතිය විස්තර කරන්න.
  • පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය ඒවායේ සංකේත සමග හඳුන්වා දෙන්න.
  • සුදුසු නිදසුන් ඉදිරිපත් කරමින් සමස්ථානික හඳුන්වා දෙන්න.
  • ක්ලෝරීන්වල සාපේක්ෂ සමස්ථානික ස්කන්ධ හා ඒවායේ සුලභතාව යොදා ගනිමින් එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන අයුරු පැහැදිලි කරන්න.
  • සුදුසු නිදසුන් ඉදිරිපත් කරමින් නියුක්ලයිඩ ඒවායේ ස්වභාවය අනුව වර්ග කර දක්වන්න.
  • මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යොදා ගනිමින් සරල ගණනයන් සිදු කරන්න.

අදාල පරීක්ෂණ –

  • කැතෝඩ කිරණවල ගුණ ආදර්ශනය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සමස්ථානිකවල ඇති ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණන ලිවීමට ඇති හැකියාව අගයන්න.
  • නිදසුන්

නිපුණතා මට්ටම  1.2 –

විවිධ වර්ගයේ විද්‍යුත් – චුම්බක විකිරණ විශ්ලේෂණය කරයි

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • ඩිබ්‍රෝග්ලී සමීකරණය සඳහන් කරයි.
  • නිදසුන් ඇසුරින් ඉලෙක්ට්‍රෝනයේ අංශු-තරංග ද්වෛත ස්වභාවය විස්තර කිරීමට ඩිබ්‍රෝග්ලී සමීකරණය යොදා ගනී.(λ = h/mv)
  • තරංගවල ගුණ විස්තර කරන භෞතික රාශි නම් කර ඒවා
    අතර සම්බන්ධතා ප්‍රකාශ කරයි.
  • විද්‍යුත් – චුම්බක තරංග යනු කුමක් දැයි විස්තර කරයි.
  • C =  හා E = hv λ = h/mv භාවිත කරමින් සරල ගැටලු විසඳයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විද්‍යුත් – චුම්බක තරංගයක් යනු කුමක් දැයි හඳුන්වා දෙන්න.
  • විද්‍යුත් – චුම්බක තරංගයක ඇති විද්‍යුත් හා චුම්බක සංරචක හඳුන්වා දීමට රූප සටහන්, ආකෘති හෝ අදාළ විඩියෝ පටි භාවිත කරන්න.
  • λ = h/mv ව්‍යුත්පන්න කිරීම මගින් පදාර්ථවල ද්විත්ව ස්වභාවය පෙන්වා දෙන්න.
  • ඉලෙක්ට්‍රෝනවල ද්විත්ව ස්වභාවය හා ගුණ පිළිබඳ ව අවධාරණය කිරීම සඳහා කැතෝඩ කිරණවල විවර්තනය හා නිරෝධනයට අදාළ නිරීක්ෂණ භාවිත කරන්න.
  • C = vλ,E = hv සහ  E = mcභාවිත කර ගැටලු විසඳන්න.
  • විද්‍යුත් චුම්බක වර්ණාවලිය විස්තර කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ස්වභාවයේ ඇති විවිධ වර්ගයේ විකිරණ හා ඒවායින් එදිනෙදා ජීවිතයට ලැබෙන ප්‍රයෝජන සොයා බැලීමට පැවරුමක් දීමෙන් ඇගයීම් සිදු කරන්න.
  • ගැටලු කිහිපයක් විසඳීම මගින් E = hv හා C =  යන සමීකරණ භාවිත කිරීමට ඇති
    හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 1.3 –

පරමාණුවල ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් සඳහා සාක්ෂ්‍ය දක්වයි.

කාලච්ඡේද ගණන –

09

ඉගෙනුම් ඵල –

  • පරමාණුවක අයනීකරණ ශක්තිය සිහි කැඳවයි.
  • අනුයාත අයනීකරණ ශක්තීන් විස්තර කරයි.
  • අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්තාර උපයෝගි කර ගනිමින්, පරමාණුවල ඉලෙක්ට්‍රෝන, ප්‍රධාන ශක්ති මට්ටම්වල හා උපශක්ති මට්ටම්වල පිහිටන බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කරයි.
  • බෝර් ආකෘතිය විස්තර කරයි.
  • බෝර් ආකෘතිය යොදා ගනිමින් හයිඞ්රජන් පරමාණුක වර්ණාවලියෙහි රේඛා ශ්‍රේණි ගුණාත්මක ව පැහැදිලි කරයි.
  • පරමාණුවකින් ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය වන්නේ ෆෝටෝන/ ක්වොන්ටා ලෙස බව සඳහන් කරයි.
  • ක්වොන්ටම් අංක හතර විස්තර කරයි.
  • ක්වොන්ටම් අංක කුලකයක් යොදා ගනිමින් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනය පැවතීම විස්තර කරයි (4 වන ශක්ති මට්ටම දක්වා).
  • ක්වොන්ටම් අංක මගින් විස්තර කරන ලද යම් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව සඳහන් කරයි.
  • ක්වොන්ටම් අංක සතරෙන් සැපයෙන තොරතුරු සඳහන් කරයි.
  • s හා p පරමාණුක කාක්‍ෂිකවල හැඩ රූප සටහන් මඟින් දක්වයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • බෝර් ආකෘතිය සහ ශක්ති මට්ටම්වල පැවැත්ම විස්තර කරන්න.
  • පළමු අයනීකරණ ශක්තිය හා දෙ වැනි අයනීකරණ ශක්තිය යන පද අර්ථදක්වන්න.
  • දෙන ලද අයනීකරණ ශක්තියක් නිරුපණය කිරීමට පොදු සමීකරණයක් ලිවීමට මග පෙන්වන්න.
  • ඉවත් කරන ඉලෙක්ට්‍රෝන ගණනට ඉදිරියෙන් අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්තාර ගොඩනැගීම සඳහා මූලද්‍රව්‍ය කීපයක අයනීකරණ ශක්ති දත්ත ලබා දෙන්න.
  • ශක්ති මට්ටම් පැවතීමට එක් සාක්ෂ්‍යයක් ලෙස අයනීකරණ ශක්ති දත්ත යොදා ගත හැකි බව සිසුන් විසින් අඳින ලද ප්‍රස්තාර මගින් පැහැදිලි කරන්න.
  • විවිධ ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ හා ඒවාට අදාළ වර්ණාවලී රේඛා රූප සටහන් මගින් විස්තර කරමින් හයිඞ්රජන්හි පරමාණුක වර්ණාවලිය පැහැදිලි කරන්න.
  • රේඛා ශ්‍රේණිවල නම් ලයිමන්, බාමර් හා පාෂන් ලෙස හඳුන්වා දෙන්න.
  • පරමාණුක වර්ණාවලියේ ප්‍රධාන ලක්ෂණ පැහැදිලි කරන්න.
  • පරමාණුවක ශක්ති මට්ටම් පැවතීමට එක් සාක්ෂ්‍යයක් ලෙස වර්ණාවලි දත්ත යොදා ගත හැකි බව තේරුම් ගැනීමට ඉඩ සලස්වන්න.
  • තොම්සන්, රදර්ෆර්ඞ් හා බෝර් ආකෘති සංසන්දනය කරමින් පරමාණුක ආකෘති පිළිබඳ ව සමාලෝචනය කරන්න.
  • ෆෝටෝනය හා ශක්ති ක්වොන්ටීකරණය සුදුසු ආකාරයට හඳුන්වා දෙන්න.
  • ශක්ති මට්ටමක් තුළ ඉලෙක්ට්‍රෝනයක පැවතීම විස්තර කිරීමට ඇති ක්වන්ටම් අංක හතර හඳුන්වා දෙන්න.
    • ප්‍රධාන ක්වොන්ටම් අංකය (n)
    • උද්දිගංශ ක්වොන්ටම් අංකය (l)
    • චුම්භක ක්වොන්ටම් අංකය (ml)
    • බැවුම් ක්වොන්ටම් අංකය (ms)
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් ක්වොන්ටම් අංක හතර මගින් ලබා දෙන තොරතුරු පැහැදිලි කරන්න.
  •  s හා p කාක්ෂිකවල හැඩ රූප සටහන් ආධාරයෙන් පෙන්වා දෙන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද කාක්ෂිකයක් තුළ ඇති දෙන ලද ඉලෙක්ට්‍රෝනයක් සඳහා පැවතිය හැකි ක්වොන්ටම් අංකය කුලකය ලිවීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද විශේෂිත ක්වොන්ටම් අංක/අංකයකට අදාළ කාක්ෂිකය හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.(ක්වොන්ටම් අංක +1, O, -1 සඳහා px , py , pz කාක්ෂික හඳුන්වාදීම අවශ්‍ය නොවේ.)

නිපුණතා මට්ටම 1.4 –

ඒකලිත වායුමය පරමාණුවල හා අයනවල භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා දක්වයි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • උපශක්ති මට්ටම්වල පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සඳහන් කරයි.
  • ඉලෙක්ට්‍රෝන පිරීමට අදාළ මූලධර්ම හා නීති සඳහන් කරයි.
  • පරමාණුක ක්‍රමාංකය 1 සිට 54 දක්වා මූලද්‍රව්‍යවල භූමි අවස්ථාවේ ඇති ඒකලිත වායුමය පරමාණුවල හා ඒවායේ අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්මත ආකාරයට ලියයි.
  • අවුෆ්බාවු මූලධර්මයේ අපගමන 4d ශ්‍රේණියේ පැලේඩියම් හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් පැහැදිලි කරයි.
  • ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාස සඳහා උදාහරණ දක්වයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ශක්ති මට්ටම්වලට ඉලෙක්ට්‍රෝන පිරීමේ රටාවට අදාළ හුන්ඞ් නීතිය, පවුලී බහිෂ්කාර මූලධර්මය හා අවුෆ්බාවු මූලධර්මය පැහැදිලි කරන්න.
  • පරමාණුක ක්‍රමාංකය 54ට අඩු (Ƶ < 54)මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට සිසුන් යොමු කරන්න.
  • ඇනායන හා කැටායනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න.
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් මූලද්‍රව්‍යවල ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳ ව
    සාකච්ඡා කරන්න.(s° , s² , p° , p³ , p6 , p° , d5 , d10)
  • සමහර 4d මූලද්‍රව්‍ය වල (Pd වැනි) ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් අවුෆ්බාවු මූලධර්මයේ අපගමන පෙන්වා දෙයි

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද පරමාණුවල නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද කැටායන හා ඇනායනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 1.5 –

මුලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ දරන ස්ථානය තහවුරු කිරීමට හා ඒවායේ පරමාණුක ගුණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සම්බන්ධ කිරීම සඳහා මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විශ්ලේෂණය කරයි.

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කොට ආවර්තිතා වගුව ගොඩනගයි.
  • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව මූලද්‍රව්‍ය s,p හා d ගොනු යටතේ වර්ග කරයි.
  • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව 1 සිට 18 කාණ්ඩවලට හා 1 සිට 7 දක්වා ආවර්තවලට අයත් මූලද්‍රව්‍ය හඳුනා ගනියි.
  • නිවාරක ආචරණය සහ සඵල න්‍යෂ්ටික ආරෝපණය විස්තර කරයි.
  • සහසංයුජ අරය, වැන්ඩවාල් අරය සහ ලෝහක අරය යොදා ගනිමින් පරමාණුක අරය විස්තර කරයි.
  • කැටායනයක සහ ඇනායනයක අරය එහි පරමාණුක අරය සමග සංසන්දනය කරයි.
  • s හා p ගොනුවල මූලද්‍රව්‍ය ආවර්තයක් දිගේ හරහට හා කාණ්ඩයක් දිගේ පහළට පෙන්නුම් කරන නැඹුරුතා විස්තර කරයි.
  • මුලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාස පදනම් කර ගනිමින් පළමු අයනීකරණ ශක්තියේ අක්-වක් විචලනය පැහැදිලි කරයි.
  • ඉලෙක්ට්‍රෝන බන්ධුතා ශක්තිය සඳහන් කරයි.
  • ආවර්තයක් දිගේ හරහට සහ කාණ්ඩයක් දිගේ පහළට ඉලෙක්ට්‍රෝන බන්ධුතා ශක්තිය විචලනය වන අයුරු විස්තර කරයි.
  • පෝලිං පරිමාණය අනුව මූලද්‍රව්‍යයක විද්‍යුත්-ඍණතාව විස්තර කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • මූලද්‍රව්‍ය ඒවායේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව වර්ගීකරණය කිරීම සඳහා සිසුන් සමග
    සම්බන්ධ වෙමින් ආවර්තිතා වගුව ගොඩනගන්න.
  • අවසාන ඉලෙක්ට්‍රෝන පිරෙන කාක්ෂික වර්ගය සලකමින් මූලද්‍රව්‍ය s,p හා d ගොනුවලට
    වර්ග කිරීමට සිසුන්ට මඟ පෙන්වන්න.
  • පරමාණුවල සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව එය අයත් කාණ්ඩය හඳුනා ගන්නා
    අයුරු පෙන්වා දෙන්න.
  • නිවාරක ආචරණය හා සඵල න්‍යෂ්ටික ආරෝපණය පැහැදිලි කරන්න.
  • විද්‍යුත්-ඍණතාව, පරමාණුක අරය, පළමු අයනීකරණ ශක්තිය හා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය යන පදවල අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න.
  • පෝලිං පරිමාණයට අනුව විද්‍යුත්-ඍණතාව විචලනය වන අයුරු පහදන්න.
  • ආවර්තිතා වගුවේ කාණ්ඩයක් දිගේ පහළට සහ ආවර්තයක් දිගේ ඉදිරියට ඉහත ගුණ විචලනය වන ආකාරය පැහැදිලි කරන්න.
  • ආවර්තය දිගේ ඉදිරියට සහ කාණ්ඩයක් දිගේ පහළට යන විට ඇනායන හා කැටායන සෑදීමේ හැකියාව පැහැදිලි කරන්න.
  • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකමින් ආවර්තයක් දිගේ මූලද්‍රව්‍යවල පළමු අයනීකරණ ශක්තිවල අක්වක් විචලනයට හේතු සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද මූලද්‍රව්‍යවල පරමාණුක අරයයන් සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • මූලද්‍රව්‍ය කිපයක පළමු අයනීකරණ ශක්ති ප්‍රස්තාර දුන් විට මූලද්‍රව්‍ය හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන බන්ධුතා නැඹුරුව පිළිබඳ ගවේෂණය කිරීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like